දියවැඩියා රෝගීන් තම පාද ආරක්ෂා කරගන්නේ කෙසේද?
“දොස්තර මහත්තයා කිව්වා දියවැඩියාව නිසා මගේ කකුල කපන්න වෙනවා කියලා.” මේ වගේ කතා ඔබත් අහලා ඇති. ඇයි දියවැඩියා රෝගීන්ට පාද ගැන මේ තරම් සැලකිලිමත් වෙන්න කියන්නේ? දියවැඩියා රෝගයෙන් දිගු කාලයක් ඔබ පීඩා විඳිනවා නම්, රෝගය නිසා ඔබේ පාදවල ස්නායු ටිකෙන් ටික අඩපණ විය හැක. මෙසේ වූ විට පාදයේ සංවේදනය හෙවත් දැනීම අඩු වී යයි. මේ නිසා පොඩි තුවාලයක් වුවත් ඔබට නොදැනී යා හැක.
⚠️ සුළු තුවාලයක් පවා බරපතල වන්නේ ඇයි?
පාදයේ දැනීම අඩු නිසා වේදනාවක් හෝ කැසීමක් නොදැනී යා හැක. මේ නිසා තුවාලය පැසවා ආසාදනය වීම හා දිනෙන් දින නරක අතට හැරී අසාධ්‍ය තත්වයට පත් වෙන්න පුලුවන්. සමහර අවස්ථාවලදී, ආසාදනය කකුල පුරා පැතිරීම නිසා ජීවිතය ආරක්ෂා කරගැනීමට පාදය කපා දැමීමට පවා සිදු විය හැක.
එමෙන්ම, දියවැඩියාව බොහෝ කාලයක් පැවතීම හේතුවෙන් පාදවල රුධිර සැපයුම අඩු විය හැකි අතර, මේ නිසා සුළු තුවාලයක් වුවත් ඉක්මනින් සුව කරගත නොහැකි වෙන්න පුලුවන්. මෙවැනි ගැටලු නිසා ඇඟිල්ලක් හෝ පාදයක් අහිමි වූ බොහෝ පුද්ගලයන් ඔබටත් මුණගැහිලා ඇති.
🔍 අවධානය යොමු කළ යුතු ලක්ෂණ
ඔබටත් මෙන්න මේ ලක්ෂණ තියනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ පාද වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කරගත යුතුයි:
- කකුල් වල දීර්ඝකාලීනව පවතින වේදනාව
- පාදවල දිගු කාලීන හිරි වැටීම
- පාදයේ පැහැය වෙනස් වීම
- දීලීර ආසාදන පැවතීම
- අප්‍රසන්න දුගඳක් වහනය වීම
- පාදයේ උෂ්ණත්වය වෙනස් වී පැවතීම
👣 පාද ආරක්ෂා කරගන්නේ කෙසේද?
මේ වගේ ගැටලු මතුවෙන්නේ නැති වෙන්න ඔබේ පාදයත් ආරක්ෂා කරගන්න. ඉතින් කොහොමද මේකෙන් වැළකෙන්නේ?
- දිනපතා පරීක්ෂා කරන්න: සෑම රාත්‍රියකම නින්දට පෙර ඔබේ පාද හොඳින් පරීක්ෂා කරන්න.
- හොඳින් සෝදන්න: ඇල් මැරුණු මද උණුසුම් ජලයෙන් පාද සෝදන්න. මෘදුව අතුල්ලන්න, රළු දේවලින් වළකින්න. සේදීමෙන් පසුව ඇඟිලි කරු අතර පිරිසිදුව හා වියළිව තබා ගන්න.
- තෙතමනය ලබාදෙන්න: පාද වියළීමෙන් හා කැසීමෙන් ආරක්ෂා කරගැනීමට මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න.
- ප්‍රවේශමෙන් නියපොතු කපන්න: නියපොතු කපන විට තුවාල නොවීමට වගබලාගන්න. නියපොතු තුලට විෂබීජ යාමෙන් හා පැසවීම භයානක විය හැක.
- පාවහන් පළඳින්න: කිසිවිටෙක පාවහන් නොමැතිව ගමන් නොකරන්න.
නිවස තුලදී පවා දියවැඩියා රෝගීන් සඳහා විශේෂයෙන් සකසන ලද මේස් වර්ග පාවිච්චි කළ හැක.
මේ වගේ තවත් බොහෝ වෛද්‍ය උපදෙස් දැන ගැනීමට Naturista Ceylon ප්‍රාණ සත්කාර වැඩසටහනේ ලිපි පෙළ සමග රැදී සිටින්න.
