අර්ශස් සහ මලබද්ධය: නීරෝගීකමේ කැඩපත සහ නිවැරදි ආහාර රටාව 🩺
අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් එළිපිට කතා කරන්න ලැජ්ජ වෙන, ඒත් අපේ සෞඛ්‍යයට ගොඩක්ම වැදගත් මාතෘකාවක් ගැනයි.
☘️ ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට මට නිතරම හමුවෙන ප්‍රශ්න කීපයක් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. ගොඩක් අය මේ ගැන එළිපිට කතා කරන්න ලැජ්ජා (🫠😰) වුණත්, මෙය අපේ සෞඛ්‍යයට ගොඩක්ම වැදගත් මාතෘකාවක්.
🤔 1. අර්ශස් හැදෙන්න මූලිකම හේතුව මලබද්ධයද?
ඔව්, අර්ශස් (Hemorrhoids / Piles) හැදෙන්න බලපාන ප්‍රධානතම සහ මූලිකම හේතුවක් තමයි මලබද්ධය (Constipation).
- එහෙම වෙන්නේ ඇයි? මලබද්ධය තියෙනකොට මලපහ තද වෙනවා. එතකොට මල පිටකරන්න ගොඩක් තැටමීම වගේ ආයාසයක් ගන්න වෙනවා. මේ තෙරපීම නිසා ගුද මාර්ගය ආශ්‍රිතව තියෙන රුධිර නාළ මත ලොකු පීඩනයක් ඇතිවෙලා, ඒ නාළ ඉදිමෙනවා. අන්න ඒ ඉදිමුණු රුධිර නාළ තමයි කාලයක් යද්දී "අර්ශස් ගෙඩි" බවට පත්වෙන්නේ.
- වෙනත් හේතු: 💩 මලබද්ධයට අමතරව වැඩිවේලාවක එකතැන වාඩිවී සිටීම, ප්‍රමාණවත් තරම් වතුර නොබීම, කෑමවල කෙඳි (Fiber) මදිවීම, ගැබිනි සමය සහ අධික තරබාරුකම නිසාත් අර්ශස් වගේ මලබද්ධය ඇතිවෙන්න පුළුවන්.
💩 2. මල පිටවීම කියන්නේ දිනචර්යාවේ කොටසක් විතරද?
ගොඩක් අය හිතන්නේ මල පිටවීම කියන්නේ උදේට කරන තවත් එක පුරුද්දක් විතරයි කියලා. ඒත් ආයුර්වේදයේදී අපි කියන්නේ "මලපහ කියන්නේ අපේ ශරීරයේ ඇතුළත සෞඛ්‍යය පෙන්වන කණ්ණාඩිය" කියලා.
ආයුර්වේදයට අනුව අපේ සිරුරේ "ජඨරාග්නිය" (ආහාර පාචනය කිරීමේ බලය) හොඳින් වැඩ කරනවා නම්, මලපහ නිසි වේලාවට, වේදනාවකින් තොරව, මෘදුව පිටවෙනවා. අපේ නීරෝගීකම ඒකෙන් පහසුවෙන්ම දැනගන්න පුළුවන්.
නීරෝගී බවේ ලක්ෂණ:
- දිනපතා අවමයෙන් එක වරක් හෝ දෙවරක් පහසුවෙන් මල පිටවීම.
- තද බවක් හෝ වතුර වගේ දියාරු බවක් නැතිව, මෘදුව (කෙසෙල් ගෙඩියක පෙනුමට) පිටවීම.
- පිටවීමේදී දැවිල්ලක් හෝ වේදනාවක් නොමැති වීම.
ලෙඩ රෝග ගැන කියන සලකුණු:
- මලපහ තදින් පිටවීම, දවස් ගණන් පිට නොවී තිබීම (මලබද්ධය / අර්ශස් අවදානම).
- මලපහ සමඟ ලේ හෝ සෙම පිටවීම (අර්ශස්, තුවාල හෝ ආමාශගත රෝග).
- අධික ලෙස දියාරුව පිටවීම (අජීර්ණය / අතීසාරය).
🌱 මලබද්ධය හැදෙන්නේ නැති වෙන්න අපි මොකද කරන්න ඕනේ?
විශේෂයෙන් කොහිල යනු අර්ශස් සඳහා ආයුර්වේදයේ ඇති ඖෂධීය ආහාරයකි. 🧅🍆🥬🌽🍍🌶️🥥
- බණ්ඩක්කා: මෙහි ඇති ලිස්සන සුළු ස්වභාවය (Mucilage) නිසා මලපහ බඩවැල් දිගේ පහසුවෙන් ගමන් කිරීමට උපකාරී වේ.
- වට්ටක්කා සහ වැටකොළු: ජලය සහ කෙඳි බහුල ආහාර වන අතර බඩවැල්වල චලනයන් උත්තේජනය කරයි.
- දඹල සහ අල වර්ග: ඉනල, කිරි අල, සහ බතල වැනි දේශීය අල වර්ගවල ස්වාභාවික කෙඳි ඉහළ මට්ටමක පවතී.
- තිබොටු සහ තම්පලා: ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වේගවත් කරන දේශීය එළවළු සහ පලා වර්ග වේ.
- ගොටුකොළ සහ මුකුණුවැන්න: දිනපතා මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙන් මලබද්ධය දුරු කරගත හැක.
- ඇඹුල් කෙසෙල් සහ රත් කෙසෙල්: උදෑසන හිස්බඩ ඇඹුල් කෙසෙල් ගෙඩියක් කෑමෙන් මලපහ බුරුල් වේ (නමුත් පැසුණු නැති කෙසෙල් මලබද්ධය වැඩි කළ හැක).
- පැපොල්: 'Papain' නමැති එන්සයිමය අඩංගු බැවින් ආහාර ජීරණය ඉතා පහසු කරයි.
- දිවුල් සහ බෙලි: බඩවැල් ශෝධනය කරන, අර්ශස් සහ මලබද්ධයට ආයුර්වේදයේ ප්‍රකටව භාවිතා වන පළතුරු දෙකකි.
- ගස්ලබු සහ අලිගැටපේර: සිරුරට අවශ්‍ය හොඳ තෙල් සහ කෙඳි ලබා දෙමින් මලපහ මෘදු කරයි.
- ඇඹරැල්ලා සහ වෙරළු: පලතුරක් ලෙස හෝ වංජන ලෙස ආහාරයට ගැනීමෙන් බඩවැල් සුද්ධ වේ.
- කොතලහිඹුටු සහ වෙනිවැල්ගැට තැම්බූ වතුර: ශරීරයේ අභ්‍යන්තර දැවිල්ල අඩු කර ජීරණය සුමට කරයි.
- බෙලිමල් සහ රණවරා තේ: උදෑසන පානය කිරීමෙන් බඩවැල් උත්තේජනය වී මලපහ කිරීම පහසු වේ.
- ගොටුකොළ / මුකුණුවැන්න කැඳ: උදෑසන හිස්බඩ කැඳ වීදුරුවක් පානය කිරීමෙන් ආමාශයට සහ බඩවැල්වලට සිසිලසක් මෙන්ම අවශ්‍ය කෙඳි ප්‍රමාණයද ලැබේ.
- කැරට් සහ බීට්රූට් ජූස්: බඩවැල්වල චලනයන් වේගවත් කිරීමට උපකාරී වේ.
- ඉඟුරු රෝස්ට් කළ තේ: ජීරණ අග්නිය (ජඨරාග්නිය) උත්තේජනය කර බඩ පිපුම සහ මලබද්ධය නැති කරයි.
- ජල පානය (🫗🥛): උදෑසන අවදි වූ ගමන් හිස්බඩ මඳ රස්නෙ වතුර වීදුරුවක් බීම මගින් කුඩාඅන්ත්‍ර වල් චලනය (Peristalsis) උත්තේජනය වේ.
- වැසිකිළි පුරුදු (Toilet Posture): වැසිකිළි යන විට ජංගම දුරකථන භාවිතය නිසා වැඩිවේලාව එකතැන වාඩිවී සිටීමෙන් ගුද මාර්ගයට පීඩනය වැඩිවේ. එමෙන්ම 'Squatting posture' (පාද තරමක් ඉහළට සිටින සේ ස්ටූල් එකක් තබා ගැනීම) මගින් මලපහ පිටවීම පහසු කරයි.
COMMENTS
No comments yet. Be the first to leave one!